23.7.11

අරහත්ත වග්ගො 8

අස්සද්ධො අකතඤ්ඤූ ච
සන්ධිච්ඡෙදො ච යො නරො'
හතාවකාසො වන්තාසො
ස වෙ උත්තමපොරිසො

යමෙක් සිය නුවණින් වටහාගන්නාතෙක් යමක් නො අදහයි ද,අනිකකුගේ මැවීමක් හෝ යෙදීමක් හෝ නොවූ නිවන ඒ අයුරින් ම අවබෝධ කරගනී ද,සසර ඇති සියලු සන්ධි සිඳ දමයි ද,නැවත ඉපදීමට ඇති ඉඩකඩ නැති කරයි ද,සියලු ආශා වමාරා දමයි ද,ඔහු ඒකාන්තයෙන් ම උතුම් පුරුෂයෙකි..

22.7.11

අරහත්ත වග්ගො 7

සන්තං තස්ස මනං හොති
සන්ති වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස
උපසන්තස්ස තාදිනො


චතුරාර්ය සත්‍යය මනාව දැනගෙන කෙළෙසුන් කෙරෙන් මිදුණු,නො සැලෙන ගුණැති,උපශාන්ත වූ රහතුන් වහන්සේගේ සිත ද,වචනය ද,ක්‍රියාව ද එක සේ ම ශාන්තය..

21.7.11

අරහත්ත වග්ගො 6

පඨවීසමො නො විරුජ්ඣති
ඉන්දඛීලූපමො තාදි සුඞඛතො
රහදොව අපෙතකද්දමො
සංසාරා න භවන්ති තාදිනො

පොළොව මෙන් හොඳ නොහොඳ දෙකේ දී ම සමව සිටින,නුවර දොර තද කිරීම පිණිස හිඳුවන ලද කණුවක් මෙන් නොසෙල් වී පවතින,මනාව්‍රත ඇති නො කිපෙන,මඩනැති විලක්සේ පහන් වූ රහතුන් වහන්සේගේ සසර සැරිසැරීමත් නැත..

20.7.11

අරහත්ත වග්ගො 5

යස්සින්ද්‍රියානි සමථං ගතානි
අස්සා යථා සාරථිනා සුදන්තා
පහීණමානස්ස අනාසවස්ස
දෙවාපි තස්ස පිහයන්ති තාදිනො

රියැදුරකු විසින් මනාව හීලෑ කරන ලද අසුන් මෙන්,දැමුණු ඉඳුරන් ඇති මානය හා කාමාදී ආශ්‍රවයන් දුරුකළා වූ,අටලෝ දහම් විෂයෙහි නො සැලෙන පැවතුම් ඇති රහතුන් වහන්සේට දෙවියෝත් කැමති වෙති..

19.7.11

අරහත්ත වග්ගො 4

යස්සාසවා පරික්ඛීණා
ආහාරෙ ච අනිස්සිතො,
සුඤ්ඤතො අනිමිත්තො ච
විමොක්ඛො යස්ස ගොචරො,
ආකාසෙව සකුන්තානං
පදං තිස්ස දුරන්නයා

කාමාදී ආශ්‍රවයන් දුරුකළා වූ,ආහාරයෙහි තෘෂ්ණා වශයෙන් නො ඇලුණා වූ ,රාගාදියෙන් මිදුණාවූත්,රාගාදී නිමිති රහිත වූ නිවන අරමුණු කොට වසන්නා වූ රහතුන් වහන්සේගේ ඉපදීම නොදත හැකිය.අහසෙහි කුරුල්ලන් ගිය මඟ නොදත හැකිවාක් මෙනි..

18.7.11

අරහත්ත වග්ගො 3

යෙසං සන්නිචයො නත්ථි
යෙ පරිඤ්ඤාතභොජනා
සුඤ්ඤතො අනිමිත්තො ච
විමොක්ඛො යස්ස ගොචරො
ආකාසෙව සකුන්තානං
ගති තෙසං දුරන්නයා

යම් කෙනෙක් කර්මය හෝ සිව්පසය රැස් කිරීමක් නැද්ද,තමන්ගේ භෝජන සීමාව හොඳහැටි දනී ද,රාගාදියෙන් මිදුණාවූත්,රාගාදී නිමිති රහිත වූත්,නිවන අරමුණු කොට වසන එබඳු රහතන් වහන්සේ මරණින් මතු ගිය මඟ හෝ යන මඟ නොදත හැකිය.අහසෙහි කුරුල්ලන් ගිය මඟ නොදත හැකිවාක් මෙනි..

17.7.11

අරහත්ත වග්ගො 2

උය්‍යුංජන්ති සතීමන්තො
න නිකෙතෙ රමන්ති තෙ
හංසාව පල්ලලං හිත්වා
ඔකමොකං ජහන්ති තෙ

මනා සිහියෙන් යුක්තවූවෝ උනන්දුවෙන් ධ්‍යාන භාවනාවෙහි යෙදෙති.ඔවුහූ කිසිම තැනක හෝ කිසිම දෙයක හෝ කිසිම කෙනෙකු කෙරෙහි නො ඇලෙති.විල හැර යන හංසයන් මෙන් ඔවුහූ වසන හැම තැනක්ම හැර දමා යති..