4.2.12

පකිණ්ණ වග්ගො 5

මාතරං පිතරං හන්ත්වා
රාජානො ද්වෙ ච ඛත්තියෙ
රට්ඨං සානුචරං හන්ත්වා
අනිඝො යාති බ්‍රාහ්මණො

නියම බ්‍රාහ්මණයා තණ්හාව නැමැති මව ද, (තෘෂ්ණාව) මානය නමැති පියා ද, ශාශ්වත උච්ඡේද දෘෂ්ටි නමැති රජුන් දෙදෙනා ද, නන්දිරාග නමැති අනුචරයා සහිත වූ දොළොස් ආයතන නමැති රට ද නසා රහත් තෙමේ නිදුක් ව නිවනට යයි..

පකිණ්ණ වග්ගො 4

යෙසං ච සුසමාරද්ධා
නිච්චං කායගතා සති
අකිච්චං තෙ න සෙවන්ති
කිච්චෙ සාතච්චකාරිනො
සතානං සම්පජානානං
දත්තං ගච්ඡන්ති ආසවා

යමෙකු විසින් නිතර කායගතාසති භාවනාව වඩන ලද ද ඔවුහූ නොකළ යුක්ත නො කරත්. කළ යුත්තෙහි නිතර යෙදෙති. මනා සිහියෙන් හා නුවණින් ද, යුත් එබඳු පුද්ගලයින්ගේ ආශ්‍රවයෝ නැති වෙත්, හෙවත් විනාශයට යෙත්..

2.2.12

පකිණ්ණ වග්ගො 3

යං හි කිච්චං තදපවිද්ධං
අකිච්චං පන කයිරති
උන්නළානං පමත්තානං
තෙසං වඩ්ඪන්ති ආසවා

යමකු විසින් කළ යුතු දේ හැර දමා නො කළ යුතු දේ කරනු ලැබේ, උඬගු වූ, පමා වූ එබඳු පුද්ගලයන්ගේ ආශ්‍රවයෝ වැඩෙත්..

පකිණ්ණ වග්ගො 2

පරදුක්ඛුපදානෙන
අත්තනො සුඛමිච්ඡති
වෙරසංසග්ග - සංසට්ඨො
වෙරා සො න පරිමුච්චති

යමෙක් අනුන්ට දුක් දී තමන් සැප ලබන්නට කැමති වේ ද, වෛරයෙන් බැඳුණු සිත් ඇති ඔහු වෛරයෙන් නො මිදේ..

31.1.12

පකිණ්ණ වග්ගො 1

මත්තා සුඛපරිච්චාගා
පස්සෙ චෙ විපුලං සුඛං
චජෙ මත්තා සුඛං ධීරො
සම්පස්සං විපුලං සුඛං

මඳ සැපයක් හැර දැමීමෙන් මහත් සැපයක් ලැබෙන බව පෙනේ නම් බුද්ධිමතා ඒ විපුල සැපත බලාපොරොත්තුවෙන් සුළු සැපය අත්හරී. (හෙවත් අත් හල යුතුය )

මග්ග වග්ගො 17

එතමත්ථවසං ඤත්වා
පණ්ඩිතො සීලසංවුතො
නිබ්බානගමනං මග්ගං
ඛිප්පමෙව විසොධයෙ

මරණයෙහි දී තමාට පිහිට වන්නට කිසිවකු නැතැයි දැනගෙන නුවණැත්තා ශීල සංවරයෙන් යුක්තව නිවනට යන මඟ වහ වහා පිරිසිදු කර ගනී..

- - - - - - - - - මාර්ග වර්ගය නිමි - - - - - - - - -

මග්ග වග්ගො 16

න සන්ති පුත්තා තාණාය
න පිතා න පි බන්ධවා
අන්තකෙනාධිපන්නස්ස
නත්ථි ඤාතිසු තාණතා

මරුවාගෙන් පහර ලද්දහුගේ රැකවරණය පිණිස එන දරුවන් නැත. මවු පියෝත් නැත. නෑයන්ට ඔහු මරණයෙන් රැකගත නො හැකිය..